Recent

Tuesday, November 8, 2016

ෆෝන් එක අතට ගත්තු ගමන්මද? මේ ගැනත් හිතන්න





පසුගිය සති අන්තයේ කාර්යාල දුම්රියේ නිවස බලා යද්දී මගේ ආසනය ඉදිරියේ වාඩි වෙලා ගමන් ගත්ත, වයස අවුරුදු වයස අවුරුදු හැටක පමණ මහත්මයෙක් ෆෝන් එකේ Clash of Clans ගේම් එක සෙල්ලම් කරනවා දැක්කා කිව්වොත් සමහරවිට Roar කියවන ඔබ පුදුම වේවි! පසුගිය දවස්වල ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සංසරණය වුණු, Clash of Clans ක්‍රීඩා කරන ආච්චිගේ පින්තූරෙත් මේ වන විටත් ඔබ දැක ඇතුවා වෙන්නට පුළුවනි.

දැන් ෆෝන් එකේ එල්ලිලා ඉන්නේ තරුණ තරුණියෝ විතරක් නෙමෙයි

නමුත් කතන්දරේ ඒකමත් නෙවෙයි, මේ ගේම් එක සෙල්ලම් කරමින් ගිය මහත්මයා දෙපැත්තේ වාඩි වෙලා උන්නේ ඒ මහත්මයාගේ වයසේම වාගේ තවත් මහත්මයෙක් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්- මේ දෙන්න අතරෙ සිදු වුන දෙබස, සමහරවිට සිද්ධ වුන දේ ගැන ඔබට අනුමානයක් මේ වනවිටත් ඇතිවා වෙන්න පුළුවන්.

බලන්නකෝ අර අහවලාගේ පුතා, මුළු දවසෙම ගේම් ගහනවානේ!ඔන්න ඔය විදියටයි අර සම-වයසේම වාගේ පෙනුන අනික් මහත්මයා කතාවක් පටන් ගත්තේ. අර තරුණ ශිෂ්‍යාවත් නිකං උන්නේ නෑ, දෙන්නත් එක්කම එකතු වෙලා අපේ ගේම් ගහන මහත්මයාව පොඩ්ඩක් විහිලුවට අල්ලගත්තා, නමුත් මේ සංවාදය හිනාව කට කොනකින් හංගාගෙන අහගෙන උන්නු මට වැදගත් දෙයක් අහන්න නොලැබුණා කියන්නත් බැහැ. උදේ පටන් රාත්‍රියේ නින්දට යායුතු වෙලාව වෙන තුරුමත්, නින්දට යා යුතුව ඇති වෙලාවෙත් පමණක් නෙවෙයි, අහාර ගන්නා වෙලාවේ පවා ජංගම දුරකතනයෙන් ගේම් සෙල්ලම් කරන දරුවෝ කිහිප දෙනෙක්ගේ හැබෑ කතන්දර කිහිපයක් මේ සංවාදයේදී අහන්න ලැබුණා. අන්න ඒ නිසාම  ඔබ වෙනුවෙන්, දවසෙම ජංගම දුරකථනයට ඇබ්බැහි වීසිටීමෙන් ඇතිවිය හැකි අනිසි පල විපාක ගැන සොයා බලන්න කල්පනා කළා.

ජංගම දුරකතනයට ඇබ්බැහි වූ අය ගැන මනෝ විද්‍යාඥයන් කියන කතාව.


ඔබත් මේ වගේ රැය පහන් කරනවා ද? මේ අනතුරු ඇඟවීම ඔබටමයි! (www.dailymail.co.uk)
මේ ගැන සොයා යද්දී අපට හොයාගන්න ලැබුනේ එක්සත් රාජධානියේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය Tomas Chamorro ප්‍රමුඛ මනෝ විද්‍යාඥ කණ්ඩායමක් විසින් පසුගිය වසරේ මේ පිලිබඳ කරන ලද අධ්‍යයනයක් පිළිබඳව යි. ජංගම දුරකථනය හා ජංගම දුරකථනය ආශ්‍රිතව නිරන්තර අන්තර්ජාලය සහ වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමෙන් කෙනෙකුට ඇති විය හැකි ප්‍රධාන ගැටළු කිහිපයක්ම මෙම අධ්‍යනයේදී අනාවරණය වී තිබුණා.

සමාජ විරෝධී පෞරුෂයක් වර්ධනය වීම

මේ අධ්‍යයනයේදී හෙළි වුන වැදගත්ම දෙයක් තමයි අධික ලෙස ජංගම දුරකතනයට හුරු වී සිටීමෙන් සෑම දස දෙනෙකුගෙන් එක් අයෙකුම සැබෑ ලෝකයේදී සමාජ ආශ්‍රයට අකමැති, සමාජ විරෝධී පුද්ගලයෙකු බවට පත්වෙන්න පුළුවනි යන්න. ඉතින් දවසෙම ජංගම දුරකථන ඔස්සේ ක්‍රීඩා කරමින් හෝ අන්තර්ජාලයේ හෝ සමාජ ජාලවල සැරිසරමින් ලබන විනෝදයෙන් පසුව මෙවැනි පුද්ගලයෙකු බවට තමන්ගේ පෞරුෂය වෙනස් වෙන්න ඉඩ අරින එක නම් පොඩ්ඩක් හිතල බලන්න ඕන කාරණයක් කියල තමයි අපිට හිතෙන්නේ.

රැල්ලටනොයා ඉන්න බැරිකම හෙවත් Fear of Missing Out (FOMO)

මේක නම් ඇත්තටම බැලූ බැල්මට සමාජ ජාල දෙස බැලීමේදී අපටත් පැහැදිලිව පෙනෙන්න තියෙන දෙයක් වාගෙයි. නොයෙක් කාලයන්ට එන විවිධ ප්‍රවණතා එක්කම, විවිධ චැලේන්ජ්, විවිධ තරඟ බොහොම ඉක්මනින් හැමෝම කරන්න පටන් ගන්න හැටි අපටත් දකින්න ලැබෙනවානේ. ඉතිං මේ විධියේ සමාජ ප්‍රවණතා සමග ඒ විධියටම අනුගත වෙන්න ආසාවක්, එසේ නොවී ඉන්න නොහැකිකමක් සැබෑ ජීවිතයේදී පවා අපේ සිතේ ගොඩ නැගෙන්න අධික ජංගම දුරකථන භාවිතය හෙළි වෙනවා කියන කාරණයත් මේ පර්යේෂණයේදී හෙළි වෙලා තියෙනවා.

අවධානය ගිලිහී යාම/පහත මට්ටමකට වැටීම

ඔබගේ අවධානය ජංගම දුරකථනය සදාකාලිකවම උදුරාගනිවී ද? (www.bebrainfit.com)
මේ පර්යේෂණයෙන් හෙළි වුන තවත් කාරණයක් විධියට අවධානය රැකගැනීමේ අපහසුතා ඇතිවීමේ වැඩි අවධානමක් අධික ජංගම දුරකථන භාවිතය නිසා සිදු වෙනවා. අප නියැලී සිටින අධ්‍යාපනික හෝ වෙනත් ඕනෑම කටයුත්තකදී, අවධානය ගිලිහෙන එක නම් බරපතල ගැටළුවක් බව විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ තත්ත්වය අධික ජංගම දුරකථන භාවිතය නිසා වැඩි වෙන බවක් තමයි පර්යේෂක කණ්ඩායම ප්‍රකාශ කරන්නේ.

ඕනෑවටත් වඩා මමත්වය

පර්යේෂකයන් පිරිස පෙන්වා දෙන අයුරින් මේ අයට මුහුණ දෙන්න සිදුවන තවත් ගැටළුවක් තමයි පමණට වඩා අධික මමත්වය කියන්නේ. මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කලොත්, මේ අය පමණටත් වඩා අනවශ්‍ය තත්වයක් සහ අගයක් තමන් වෙනුවෙන් වෙන් කරනවා. ආත්ම විශ්වාසය අපේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් බව සැබෑ නමුත්, මේ කියන්නේ එහෙම දෙයක් ගැන නම් නෙවෙයි. තමන් විසින්ම තමන් ප්‍රසිද්ධ පුද්ගලයෙක් ගණයේ සලකන මානසික තත්වයක් ඇති වීමේ අවධානමක් සමාජ ජාල සහ අන්තර්ජාල භාවිතය අධික වීම නිසා ඇති විය හැකියැයි විද්‍යාඥයන් පවසනවා. මේ කාරණය ඇති වීමටත් ජංගම දුරකතනයේ සීමා රහිත භාවිතය නිසා සිදුවන බලපෑම විස්තර කරන්නට අවශ්‍ය නැති තරම්.ලොව පුරා අන්තර්ජාල භාවිතා කරන්නන් අතරෙන් ඒ ඒ කලාපවල අන්තර්ජාලයට ඇබ්බැහි වූවන්ගේ ප්‍රතිශතය. (www.dailymail.co.uk/)
මීට අමතරව විද්‍යාඥයන් විසින් අනාවරණය කරගන්නට යෙදුණ තවත් වැදගත් කාරනා බොහොමයක් තිබෙනවා. ඔවුන් පවසන්නේ ලොව පුරා අන්තර්ජාල පරිශීලකයන් අතරින් මිලියන 182ක පමණ ප්‍රමාණයක් අන්තර්ජාලයට ඇබ්බැහි වීඇති තත්වයක් පෙන්නුම් කරන බවයි. ඔවුන් අනතුරු අඟවන්නේ මොවුන්ගෙන් සෑම සිව් දෙනෙකුගෙන් එක් අයෙකුම සමාජ විරෝධී හැසිරීම් ප්‍රදර්ශනය කිරීමේ සම්භාවිතාව අධික බවයි.
කොයි හැටි වේවා ජංගම දුරකථන, සමාජ ජාල සේම අන්තර්ජාලය කියන්නේ වර්තමාන ලෝකය උඩු යටිකුරු කල නිර්මාණ බව නම් නොකියාම බැරි තරම්. මෙම මෙවලම් සහ පහසුකම් නිසාම එදිනෙදා ජීවිතයේ කටයුතු සහ ව්‍යාපාර කටයුතු පහසු වී ඇතිවා සේම, අප වෙත ගෙන එන දැනුම සහ විනෝදය අසීමිතයි. සිතන්න, Roar හි මේ ලිපිය ඔබ වෙත එන්නේත් අන්තර්ජාලය ඔස්සේ ජංගම දුරකතනයක් හරහා විය හැකියි. අන්න ඒ නිසාම, මේ මෙවලම්, අපගේ ජීවිතයට හානිදායක නොවන අයුරින් භාවිතා කිරීම අප හැමදෙනාම සතු වගකීමක්.

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews