Recent

Tuesday, August 30, 2016

තයිරොයිඩ් ග්ර න්ථිය ආශ්රිවත රෝගාබාධ

ආහාර වල අයඩින් නිසි ලෙස අඩංගු නොවීම නිසා බෙල්ලේ ගෙඩියක් වැනි යමක් ඇති වී තිබෙන අයව ඔබ දැක ඇති. මෙයට හේතු වන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත තත්ත්වයක්. නමුත් තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇත්තේ මෙම තත්ත්වය පමණක්ම නොවේ. ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්ථිය යනු කුමක්ද යන්න සහ එහි ඇතිවන රෝගාබාධ ගැන ඔබ දැනගැනීම ඉතා වැදගත්වේ….

ස්වාසනාලයට ඉදිරිපස සිටින සමනලයා

ගෙල හා සම්බන්ධ රෝගාබාධ සාකච්ඡාවේදී කථා නොකරම බැරි විෂයක් ලෙස තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝගාබාධ සැලකිය හැකිය. අප සෑම පුද්ගලයකුගේම ස්වාසනාලයට ඉදිරිපස සමනලයකුගේ හැඩයෙන් යුත් ග්‍රන්ථියක් පිහිටා ඇත. එය තයිරොයිඩ් ග්‍රන්ථියලෙස හඳුන්වයි. මෙම ග්‍රන්ථියේ කාර්යභාරය වනුයේ තයිරොක්සින් හෝමෝනය ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට නිපදවීමයි. එමගින් අපගේ හිස සිට දෙපා දක්වා වූ ශරීරයේ සියලුම ඉන්ද්‍රීයයන්ගේ නිසි ක්‍රියාකාරීත්වයට බලපාන T4 (Thyroxine) සහ T3 (Triiodothyronine))යන හෝමෝන වර්ග දෙක ශ්‍රාවය කරයි. තයිරොක්සීන්(T4)අණුවක අයඩින් පරමාණු 3ක් ඇත. තයිරොක්සීන් වල ක්‍රියකාරීත්වය ඇතිවන්නේ අක්මාවේදී එහි එක් අයඩින් පරමාණුවක් හැලීමෙන් අනතුරුවය. එම අවස්ථාවේ තයිරොක්සීන් ට්‍රයිඅයඩෝ තයිරොනීන් බවට පත්ව සක්‍රීය වේ. ශරීරයේ සෑම පරිවෘත්තීය ක්‍රියාවකටම T3 අත්‍යවශ්‍යවේ. තයිරොයිඩ් ග්‍රන්ථිය විසින් නිපදවන T4 හා T3 පාලනය කරනු ලබන්නේ මොළයේ පිටියුටරි ග්‍රන්ථිය මගින් නිපදවන තයිරොට්‍රොපීන් හෙවත් තයිරොයිඞ් උත්තේජක හෝමෝනය ( TSH thyroid stimulating hormone)මගින්ය. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වූ විට TSH මට්ටම ඉහළ යන අතර තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩි වූ විට TSH මට්ටම පහළ බසියි. මෙසේ මිනිසාගේ පැවැත්මට ඉතා වැදගත් තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් නිපදවන තයිරොක්සින් හෝමෝනය අඩු වූ විට හයිපොතයිරොයිඩ්සම් (hypothyroidism) නමැති රෝගයත් තයිරොක්සින් හෝමෝනය නිපදවීම අධික වූ විට හයිපර්තයිරොයිඩිසම් (hyperthayroidism )රෝගයත් ඇතිවේ.

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇති වන රෝග තත්ත්වයන්

කෙසේ වුවද අපගේ දැනගැනීමේ පහසුව සඳහා තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇති වන රෝග තත්ත්වයන් ප්‍රධාන කාණ්ඩ හතරක් යටතේ හඳුන්වා දිය හැකිය.
§  තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය (Hyperactivity) නිසා ඇති වන හයිපර් තයිරොයිඩිසම් (Hyperthyroidism) තත්ත්වය
§  තයිරොයිඩ් ග්‍රන්ථීයේ ක්‍රියාකාරීත්වය අඩුවීම නිසා ඇති වන (Hypo activity ) හයිපො තයිරොයිඩිසම් (Hypothyroidism) තත්ත්වය
§  තයිරොයිඞ් ග්‍රන්ථියේ ව්‍යුහයේ ඇති වන දෝෂයන්. මෙම තත්ත්වය බොහෝ විට උපතින්ම එන තත්ත්වයකි
§  තයිරොයිඩ් පිළිකා

තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය

තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය හේතුවෙන් වැඩියෙන් නිෂ්පාදනය වන තයිරොක්සීන් හෝමෝනය රුධිරයට එකතු වීමක් සිදුවේ. මේ නිසා අපේ දේහ සෛල වල ක්‍රියාකාරීත්වය (පරිවෘත්තීය වේගය) අසාමාන්‍ය ලෙස වැඩි වීමක් සිදුවේ.
තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය නිසා ඇති වන රෝග ලක්‍ෂණ
§  අධික ලෙස කේන්ති යාම
§  නින්ද නොයාම
§  හිසකෙස් හැලීයාම
§  නියපොතු මෘදු වීම
§  කාන්තාවනගේ ඔසප් චක්‍රය කෙටි වීම හා රුධිරය අඩුවෙන් රුධිරය වහනය වීම
§  ශරීරයේ අධික ලෙස තාපය නිපදවන නිසා අධික ලෙස දහඩිය දැමීම
§  පරිසරයේ සාමාන්‍ය උෂ්ණත්වයද දරාගත නොහැකි වීම
§  ආහාර රුචිය වැඩිවී නිතර නිතර කුසගිනි ඇති වීම
§  සිත නොසන්සුන් වීම හා සිතේ ඇතිවන තිගැස්ම
§  නිතර නිතර වැසිකිලි යාමේ අවශ්‍යතාව
§  ශරීරයේ බර සැලකිය යුතු ලෙස කෙටි කාලයකදී අඩුවීම
§  ශරීරයට ඇතිවන තෙහෙට්ටු ගතිය
§  අත් වෙවිලීම, හෘද ස්පන්දන වේගය වැඩිවීම හා එය දැනීම(giddiness )
§  සමහර අවස්ථාවලදී ඇස් ඉදිරියට නෙරා ඒම
§  තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වීම.

තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වයට හේතු

§  ග්‍රේව්ගේ රෝගය (GRAVES disease)නිසා තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික්‍රියාකාරීත්වයක් ඇති විය හැකිය. අයරිස් ජාතික වෛද්‍ය ග්‍රේව් විසින් සොයාගෙන ඇති මෙම රෝගයේදී සිරුරේ ඇතිවන ප්‍රතිදේහ මගින් තයිරොයිඩ් ග්‍රන්ථියේ තයිරොක්සීන් නැමති හෝමෝනය සෑදීමේ ක්‍රියාවලිය වේගවත් කරයි.
§  මොළයේ ඇති පිටියුටරි ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරි තත්වයන්
§  නිර්දේශ කර ඇති තයිරොක්සීන් පෙති මාත්‍රාවට වඩා වැඩිපුර ගැනීම.
§  ඇතැම් වෛරස් ආසාදන හේතුවෙන් තයිරොයිඩ් ග්‍රන්ථියට හානිවීම නිසා කලින් නිෂ්පාදනය වී ගබඩාකර තිබෙන තයිරොක්සීන් හෝමෝන එකවර අධිකව රුධිරයට එකතු වීම. (Viral thyroiditis)
§  අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අයඩින් මිශ්‍ර ලූණු ආහාරයට ගැනිම.
§  කලාතුරකින් ශරීරයේ වෙනත් ස්ථානවල ඇතිවන ගැටිති හා ගෙඩි ආදිය මඟින් තයිරොයිඩ් ග්‍රන්ථිය උත්තේජනය කරන හෝමෝන නිපදවීම. උදා: වෘෂණ හා ඩිම්භ කෝෂ

හයිපර් තයිරොයිඩිසම් තත්ත්වයයේදී ප්‍රතිකාර

මෙම හයිපර් තයිරොයිඩිසම් තත්ත්වයේදී නිසි පරිදි ප්‍රතිකාර වෙත යොමු නොවීම තුලින් හෘදයේ ක්‍රියාකාරීත්වය අඩපණ විය හැකිය. එසේම අස්ථි දිරායාම හා ශරීරය දුර්වල වීම සිදුවිය හැකිය. ප්‍රධානම ප්‍රතිකාර ක්‍රමය ලෙස තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු කිරීමට ලබා දෙන බෙහෙත් පෙති නම් කළ හැකිය. ඖෂධ ලබා ගැනීම නතර කළ පසු නැවත රෝග ලක්ෂණ මතු විය හැකි බැවින් මෙය පෙත්ත නොකඩවාම ලබා ගැනීමට සිදුවේ. විකිරණශීලී අයඩින් ප්‍රතිකාර ක්‍රමය තවත් ප්‍රතිකාර ක්‍රමයකි. මෙහිදී රෝගියාට ලබා දෙන විකිරණශීලී අයඩින් සියල්ල තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් උරා ගන්නා නිසා තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවේ. මෙම ප්‍රතිකාර ක්‍රමය ඉතා පහසු මෙන්ම රෝගය නැවත මතු නොවන ඵලදායි ක්‍රමයකි. නමුත් ඉතාමත් කලාතුරකින් තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා ඇති වීමට අවදානමක් ඇති නිසා තරුණ හා ගර්භණී මව්වරුන්ට මෙම ප්‍රතිකාරය කිරීමේදී වඩාත් අවධානය යොමු කළ යුතුය. ශල්‍යකර්ම කිරීම තවත් ප්‍රතිකාර ක්‍රමයකි. ශල්‍යකර්මයකින් අර්ධලෙස සම්පුර්ණයෙන්ම ග්‍රන්ථිය ඉවත් කර තයිරොයිඩ් හොර්මොන් පෙති ගැනීම.
තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇති වන හයිපොතයිරෝයිඩිස්ම් හා අනෙකුත් රෝග තත්ත්වයන් පිළිබඳව මීළඟ ලිපියෙන් දැනුවත් වෙමු.

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ උගුර, කන, නාසය හා ගෙල පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සහ  ජේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සමග කල සාකච්ඡාවක් ඇසුරිණි.
සැකසුම සහ සටහන දිශාන්ති වෙදගේ

ඔබේ හිත මිතුරන්ටත් මෙම වටිනා දැනුම ලබා ගැනීමට මෙය SHARE කරන්න...












උගුර, කන, නාසය හා ගෙල පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ


Courtesy 

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews