Recent

Tuesday, November 8, 2016

නාසයේ අවහිරතාවයෙන් ඔබත් පීඩා විඳිනවාද?





උගුර, කන, නාසය හා ගෙල පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ
යම් පුද්ගලයකුගේ ආශ්වාස ප්‍රශ්වාසය නතර වුවහොත් කුමක් සිදුවෙයිද? ඔව් , ඔබ සිතුවා නිවැරදියි. ඒ ජීවිතයේ අවසානයයි. ආශ්වාස ප්‍රශ්වාසය නතරවීමත් සමගම අපගේ මරණයද සිදුවනු නියතය. අප මෙලොවට බිහි වූදා සිට මියෙන තුරු සිදු ආශ්වාස ප්‍රශ්වාසය අපගේ කිසිඳු අනුදැනුමකින් තොරව සිදුවේ.එය ඒ තරමටම ජීවිතයට සාමාන්‍ය දෙයකි. නමුත් ආශ්වාස ප්‍රශ්වාසය අසාමාන්‍ය බව දැනෙන්නේ ශ්වසන අපහසුතා මතු වු විටය. සරලව නාසයේ ඇති වන අවහිරතා තත්ත්වයේ සිට ශ්වසනයට අධිකය බාධා ඇති වන තත්ත්වය දක්වා අසාද්‍ය තත්ත්වයට පත්වීමට නාසයේ ඇති ව්‍යුහමය බාධා බලපෑ හැකිය.
නාසයේ අවහිරතා ඇතිවන්නට හේතු
§  උපතේදීම ඇති වන නාසයේ අවහිරතා
§  නාසයේ බිත්තියෙ ඇති වෙනස්කම්
§  නාසය තුල ගැටිති විශාල වීම (Turbinules)
§  නාසය තුල මස් දළු ඇති වීම හා ඇඩිනොයිඞ් ග්‍රන්ථිය විශාල වීම.

උපතේදීම ඇති වන නාසයේ අවහිරතා
උපතේදීම ඇති වන නාසයේ අවහිරතා පිළිබඳ අපට අවබෝධයක් නොතිබුනද පසු කාලීනව මතු වන සංකූලතා තත්ත්වය ජීවිතය පවත්වාගෙන යාමට සෘජුවම බලපෑ හැකිය. එවැනි උපතේදී ඇති වන නාසයේ ව්‍යුහමය අවහිරතා වනුයේ නාස් කුහර දෙකම පිටු පස  ද්වාරයක් රහිතව පිහිටීමයි. ( Choaíl atretia)  බාහිර පෙනුමෙන් නාසය මනාව පිහිටා ඇති මුත් එහි ඇතුලත කුහරය පටලයකින් හෝ අස්ථියකින් සම්පූර්ණයෙන් වැසී පැවතීම මෙයට හේතුවයි. කළලය ගර්භෂය තුල විකසනය වන විට ඇති වන වර්ධනයේ අසම්පුර්ණතා හෝ කළලයේ විකෘතිතාවයක් නිසා මෙය සිදුවන අතර එහිදී ඒ හා සම්බන්ධ තවත් රෝගී තත්ත්වයන් ( Charge Syndrome ) දරුවන්ට ඇති විය හැක. මෙවැනි තත්ත්වයන් හඳුනාගත් වහාම ශ්වසන මාර්ගය ශල්‍යකර්මයක් මගින් විවෘත කිරීම මගින් ජීවිතය පවත්වා ගැනීමට දරුවන්ට හැකි වනු ඇත.
නාසයේ බිත්තියෙ ඇති වෙනස්කම්
අප සරලව දන්නා අයුරින් නාසය කුටීර දෙකකින් යුක්ත වන්නා සේම එය එලෙස බෙදා වෙන් කිරීමට අවශ්‍ය බිත්තියක් නාසයේ මධ්‍යයේ පිහිටා තිබේ. නමුත් කුඩා කල දරුවන් ක්‍රිඩා කිරීමේදී , වැඩිහිටියන් හෝ ළමයින් අඩදබර කර ගැනීමකදී හෝ උපතින්ම මෙම බිත්තිය සරල රේඛාවක පිහිටීම වෙනුවට ඇද කුද සහිතව පිහිටිය හැකිය. එලෙසම මෙම බිත්තිය අස්ථි හා කාටලේජ යන දෙවර්ගයෙන්ම සෑදී ඇති නිසා ඒවායේ අනවශ්‍ය වර්ධනයක්ද බිත්තියේ අසමතුලිතතාවයන්ය හේතුවිය හැකිය.

නාසය තුල ගැටිති විශාල වීම
පීනස තත්ත්වයන් නිසා හෝ ආසාත්මිකතා හේතුවෙන් මෙම ගැටිති තුල වාතය පිරුණු කුටීර ඇති විය හැකිය. එලෙස ප්‍රමාණයෙන් විශාල වන මෙම ගැටිති නිසා ශ්වසනයට බාධා ඇති වී විශේෂයෙන් රාත්‍රියට මුඛයෙන් හුස්ම ගැනීමටත් අධික ලෙස ගෙරවීමටත් ඉඩ ඇත.
මෙවැනි තත්ත්වයන් ඇති වීමට හේතුවනුයේ
§  දීර්ඝ කාලීනව නාස් කුහර ආශ්‍රිතව ඇතිවන වීෂ බීජ තත්ත්වයන් නිසා.
§  විවිධ විෂ වායු  හා දූවිලි නිතර නිතර ආඝ්‍රානය වීම නිසා.
§  ඇදුම තත්ත්වය නිසා.
§  විවිධ අසාතමිකතා නිසා.
ඉතා කුඩා ප්‍රමාණයේ ගැටිති මගින් කිසිම රෝග ලක්ෂණයක් ඇති නොවුනද ඒවා විශාල වීමෙන්
§  නාස් කුහරය සිරවීම නිසා නාසයෙන් දියර ගැලීම, විවිධ ගන්ධයන් හා රස නොදැනී යාම
§  හුස්ම ගැනීමේදී නාසය හිරවී ඇති ලෙස දැනීම
§  නිතර කිවිසුම් යාම
§  නාස් කුහරය වටා ඇති කුහර වල විෂ බීජ තත්ත්වයන් ඇතිවීම නාසයෙන් ලේ ගැලීම
වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.
නාසය තුල මස් දළු ඇති වීම හා ඇඩිනොයිඞ් ග්‍රන්ථිය විශාල වීම
මෙම තත්ත්වයන් ඉතා සුලබව දක්නට ලැබෙන අතර ඇඩිනොයිඞ් ග්‍රන්ථියේ ඉදිමීම සුලබව දරුවන් තුලද දැකිය හැක. කෙසේ නමුත් මෙලෙස ආසාත්මිකතාවයන්ටත් සංකූලතාවයක් ලෙස මස්දළු ඇති වීම මෙන්ම ඇඩිනොයිඞ් ග්‍රන්ථියේ ඉදිමීමද ඇතිවිය හැක. නාසය තුල ඉතා තද අවහිරතාවයක් මෙන්ම ගඳ සුවඳ නොදැනීයාමටද මෙය හේතුවේ.
නාසයේ අවහිරතා සඳහා ප්‍රතිකාරයන්
මුල් අවදියේදී නාසයට දමන බින්දු ලබා දෙන අතර අසාත්මිකතා සදහා දෙනු ලබන ඖෂධ හා ප්‍රථිජීවක ඖෂධ මගින්ද ප්‍රථිකාර කරනු ලැබේ. ඉහත සාකච්ජා කල ව්‍යුහමය වෙනස්කම බොහොමයක් ඖෂධ මගින් යථාතත්ත්වයට ගැනීමට ඉතා අපහසුය.
නාසයේ මස් දළු ඇඩිනොයිඞ් ග්‍රන්ථි ඉදිමුම් හා පීනස තත්ත්වයන් යම්තාක් දුරට පාලනය කරගත හැකිමුත් නාසයේ මැද බිත්තියෙ ඇති වන  ව්‍යාකූලතා ශල්‍යකර්මයකින් යථාතත්ත්වයට පත් කළයුතුය.
Endoscopy Assisted Septoplasty මෙම ශල්‍යකර්මය භාවිතය නාසයේ අවහිරතා සඳහා සිදු කරන ප්‍රතිකර්ම අතර ඉතා වැදගත් තැනක් උසුලයි. එම ශල්‍යකර්මය නාසයේ බිත්තිය තුල ඇති ඇද දුරු කිරීමට යොදා ගනියි. නාසය සිරවීම රාත්‍රි නින්දේදී ශ්වසනයට ඇති බාධා, ගෙරවීම , නිතර හිසරදය ,කන් අගුල් වැටීම වැනි විවිධ රෝග තත්ත්වයන් නාසයය තුල අධිකව ඇද කුද සහිත බිත්තියක් තිබීමෙන් ඇති විය හැකිය. ඖෂධ වලින් සුවයක් නොමැති නම් වෛද්‍යවරයා ඔබව ශල්‍යකර්මයකට යොමු කරනු ඇත. ඉහත සඳහන් කල එන්ඩොස්කොපි ආධාරයෙන් මෙම ශල්‍යකර්මය සිදු කල විට රෝහල්ගතව සිටිය යුතුකාලය අවම වන අතර පිටතට පෙනෙන කිසිඳු කැළලක් හෝ මැහුම් වලින් තොරව එක් දිනකින් රෝහලෙන් පිටවිය හැකි අකර සංකූලතාද අවම වේ.
නාසය තුල ගැටිති විශාල වීම ප්‍රතිකාර කිරීමෙන් පසුව වුවද දීර්ඝ කාලීනව නාස් කුහර ආශ්‍රිතව ඇතිවන වීෂ බීජ තත්ත්වයන්, විවිධ විෂ වායු හා දූවිලි නිතර නිතර ආඝ්‍රානය වීම නිසා නාසය තුල ගැටිති තත්ත්වයන් නැවත ඇතිවීමේ අවධානමක් ඇත. මෙම තත්ත්වය වලක්වා ගැනීමට නාස්කුහරයේ ඇතිවන විෂ බීජ තත්ත්වයන්ට වහාම ප්‍රථිකාර ගැනීමත් නිතර නිතර දූවිලි හා විෂ වායුවර්ග වලට නිරාවරණය නොවීමට වග බලාගැනීම හා එවැනි එවැනි අවස්ථාවලදී මුඛය හා නාස් ආවරණ පැලදීමට හැකිය.
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ උගුර, කන, නාසය හා ගෙල පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සහ  ජේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සමග කල සාකච්ඡාවක් ඇසුරිණි.

සැකසුම සහ සටහන දිශාන්ති වෙදගේ.

Courtesy 

No comments:

Post a Comment

Entertaiment News

Sponser

SPEED UP THE INTERNET

More Hot Girls

Join us on Facebook

Please wait..10 Secofrands Close

Total Pageviews